Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

වසංගතයෙන් පසු දරුවන් නැවත පාසැල් යැවීමට සූදානම් කිරීම : දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

Nimali Buthpitiya

දීර්ඝ කාලයකට පස්සෙ දරුවන් නැවත පාසැල් යැවීම සඳහා සූදානම් කිරීම අතිශය අභියෝගාත්මක කාර්යයක්. කොවිඩ් වංසගතය නිසා දරුවන්ට නිවසේ දිගු කාලයක් රැඳෙන්න සිදු වුනා. ඔවුන්ට කළ හැකි හොඳම දේ වුනේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල නියැලීම විතරයි. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල, පෙරපාසැල්වල සහ පාසැල්වල දරුවන්ට නැවතත් පන්ති කාමර අධ්‍යාපන රටාවට හුරු වෙන්න සිදු වෙන්නෙ දීර්ඝ විරාමයකට පස්සෙ. මේ සඳහා අනුගත වෙන එක දරුවන්ට වගේම දෙමාපියන්ටත් ලොකු අභියෝගයක්. 

img

කුඩා දරුවන් සාමාන්‍යයෙන් නිවසින් හෝ ආදරණීයයන්ගෙන් ඈතට යන්න කැමති පිරිසක් නෙවේ. වෙන් වීමේ සාංකාව දරුවාගේ ජීවිතය සහ වර්ධනය සම්බන්ධයෙන් තීරණාත්මකව බලපාන තත්ත්වයක්. ඒ වගේම, කොවිඩ් වසංගතය නිසාත් අපේ ජීවිතවල සැලකිය යුතු වෙනස්කම් සිදු වුනා. සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම සහ සෞඛ්‍යාරක්ෂාව ගැන දක්වන්නට සිදු වූ සුවිශේෂී සැලකිල්ල නිසා අමතර ආතතියක් ලොකු කුඩා කා අතරත් දකින්න ලැබුනා. එවැනි පරිසරයක් තුළ නැවත සාමාන්‍ය පාසැල් ජීවිතය හෝ දිවා සුරැකුම්, පෙරපාසැල් වැඩකටයුතු සඳහා දරුවා සූදානම් කිරීම පහසු දෙයක් නම් නෙවෙයි. දෙමාපියන්ටත් මේ තත්ත්වයන් යටතේ දරුවාගේ පාසැල් ගමන ගැන ලොකු විශ්වාසයක් තිබුනෙ නැහැ. මේ හේතුව නිසාම, පවුල්වලට හා දරුවන්ට මේ අනුගත වීම තරමක් අසීරු කටයුත්තක් බවට පත් වුනා. මේ නිසා මේ කාර්යය හරිහැටි ඉටු කරන්න දෙමාපියන්ට සහ රැකබලාගන්නන්ට යම් සහායක් අවශ්‍ය වෙනවා. මෙහි ඇති වැදගත්ම කාරණය තමයි දරුවන් සාර්ථකව මේ අලුත් අත්දැකීමට අනුගත කිරීමේ වගකීම දෙමාපියන්ගේ සහ රැකබලාගන්නන් යන දෙපාර්ශවයේම සාමූහික උත්සාහයක් විය යුතුමයි.      

දෙමාපියන්ට සහාය විය හැක්කේ කෙසේද?

  1. එම පන්තියේ හෝ පාසැලේම අනෙකුත් දෙමාපියන් සමඟ සම්බන්ධ වී සිටීම. මේ නිසා පාසැලේ කෙරෙන විවිධ වැඩසටහන් ගැන වැදගත් තොරතුරු ඔබට දැනගැනීමට අවස්ථාව ලැබෙනවා වගේම දරුවන් පාසැල තුළ අපහසුතාවන්ට පත්වීමත් වැළකෙනවා  
  2. දරුවාගේ ප්‍රගතිය ගැන ගුරුවරුන් සමඟ කතාබහ කිරීමට වේලාවක් යොදා ගැනීම. මේ නිසා පළමු දවසේ දරුවා වෙන් කළ යුත්තේ කෙසේද යන්න තීරණය කර ගුරුවරයාගෙන් ඒ ගැන උපදෙස් ලබාගන්නත් හැකි වෙනවා
  3. අනුවර්තනයට ලක්වන කාලය තුළ දරුවාට සංසුන් පරිසරයක් නිර්මාණය කර දෙන්න. ඔබේ හඬ සහ අදහස් පළ කිරීම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. දරුවාට මුදු හඬින් කතා කරන්න. දරුවාට ආරක්ෂිත බවක් හැඟෙන සේ සැහැල්ලු මුහුණින් යුතුව හැසිරෙන්න. 
  4. හැකි සෑම විටම සහ විශේෂයෙන් ඔවුන් ආතතියෙන් පෙළෙන සෑම විටම දරුවා සමඟ කාලය ගත කරන්න. මේ තුළින් දරුවාට අභියෝගාත්මක කාලයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. මේ අතරතුර ඔවුන්ගේ අදහස්වලටත් අහුම්කන් දීම ඉතා වැදගත්
  5. දරුවන්ගේ දරාගැනීමේ හැකියාව වර්ධනය කරන්න මේක ඉතාමත් හොඳ කාලයක්. අසීරු කාල සීමාවක් ගත කිරීමේ අත්දැකීමට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය ආකල්ප දරුවන් තුළ ඇති කර ගැනීමට ඔවුන්ට සහාය වෙන්න. දරුවන්ගේ දරාගැනීමේ හැකියාව වර්ධනය කිරීම සහ ආතතිය අවම කිරීම සඳහා දැනුවත් දෙමාපියන් විසින් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා ඒවා පිළිපදින්න. අවශ්‍ය නම් වෘත්තීයවේදීන්ගේ උපදෙස් ලබා ගන්න
  6. දරුවා නිවසේ දෛනිකව නියැලෙන චර්යාවන් නිසි පරිදි සිදු වනවාදැයි සොයා බලන්න. නිතිපතා ලබන කෙටි නින්ද, ආහාර වේල්, සෙල්ලම් කිරීම හා රාත්‍රී නින්ද ඒ අතර තිබිය යුතුයි. මේ ප්‍රතිඵලදායී ක්‍රමය අනුගමනය කිරීමෙන් දරුවාගේ අත්‍යවශ්‍ය කටයුතු මඟනොහැර තබා ගන්නට ඔබට හැකි වෙනවා. එමඟින් දරුවා යම් පිළිවෙළක් සහිත චර්යාවකට හුරු වීමක් ද සිදු වෙනවා. 
  7. දරුවා යම් සාංකාමය හෝ හැසිරීමේ වෙනසක් දිගින් දිගටම පෙන්නුම් කරන්නේ නම් ඒ ගැන සුළුවෙන් තකන්න එපා. ප්‍රමාද නොවී වෘත්තීයවේදියෙකු හමු වී උපදෙස් ලබා ගන්න.

උපදෙස්

  • සෙසු දෙමාපියන් සමඟ සම්බන්ධ වී සිටින්න - එකිනෙකාට උදව් කරන්න
  • දරුවාගේ ගුරුවරුන් සමඟ සම්බන්ධ වී සිටිමින් දරුවා පිළිබඳ උපදෙස් ලබා ගන්න
  • සුදුසු ලෙස සංසුන් හැසිරීමකට දරුවා හුරු කරවන්න
  • දරුවන් සමඟ ගුණාත්මකව කාලය ගත කරන්න. ඔවුන් සමඟ හිඳිමින් ඔවුන්ගේ අදහස් දැනගන්න
  • දරාගැනීමට සහ අනුවර්තනය වීමට අවශ්‍ය කුසලතා ඔවුන් තුළ වර්ධනය කරන්න
  • නිවසේ විධිමත් දෛනික චර්යා රටාවකට හුරු කරන්න
  • අවශ්‍ය නම් වෘත්තීයවේදීන්ගේ සහාය ලබා ගන්න

Recommended Articles