විස්මිත කඩඉම් සහ කායික ක්‍රියාකාරකම්
ඔබේ දරුවා දෙස මොහොතක් බලන්න. උපත ලැබූ දවසේ පටන් මේ දක්වා ඔහුගේ වැඩීම හරිම පුදුම සහගතයි නේද? නිදාගැනීම, මව් කිරි බීම සහ ශරීර කෘත්‍ය සිදු කිරීම හැරුණු විට වෙනත් යමක් ඔහු දැන සිටියේ නැති තරම්. දරුවාගේ දෙවැනි අවුරුද්ද යනු ළමා සංවර්ධනයේ වැදගත්ම අවධියයි. දරුවා අලුතින් උකහා ගන්නා හැකියාවන්ගෙන් විස්මිත වෙන්න, ආඩම්බර වෙන්න දෙමාපියෙකු විදියට ඔබ සූදානම් ද?
නිරෝගීව ඉන්න.. ක්‍රියාශීලීව වන්න..
ඔබේ දරුවා අලුත් ශාරීරික කඩඉම් පසුකරද්දී ඔහුට වඩ වඩාත් ක්‍රියාශීලීව සිටීමේ අවශ්‍යතාව ඇතිවේ. මෙසේ ක්‍රියාශීලීව සිටීම දරුවාගේ නිරෝගිමත් දිගු ජීවන රටාවකට මෙන්ම සෞඛ්‍යසම්පන්න වර්ධනය කෙරෙහි ද තදින්ම බලපානු ලබයි. දරුවාගේ ශරීර ශක්තිය, සමබරතාව සහ කඩිසරකම වැඩි දියුණු කිරීමේ එක් ක්‍රමයක් වන්නේ ද වැඩිපුර ක්‍රීඩා කිරීම සඳහා දරුවා යොමු කිරීමයි. ඇත්ත වශයෙන්ම, දරුවා සමඟ ඇවිදීම වැනි ක්‍රියාකාරකමක් වුවද දිගින් දිගට සිදු කරන විට එහි කැපී පෙනෙන වර්ධනයක් ක්‍රමානුකූලව සිදුවන බව ඔබටම පෙනේවි. ඔහු දැනටමත් ඇවිදීම ආරම්භ කර ඇත්නම් දිවීමේ කුසලතාව ද ඉතා ඉක්මනින් ළඟා කරගනු ඇත.
ක්‍රීඩා කිරීම දරුවාට ලබා දෙන්නේ විනෝදය සහ සතුට පමණක්ම නොවේ. මොළයේ වර්ධනයට, ගැටලු විසඳීමේ හැකියාව ඇති කිරීමට, අනෙක් අය සමඟ සම්බන්ධ වීම සහ ආත්ම විශ්වාසය වර්ධනය වැනි සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ද මෙමඟින් ලැබේ. බ්ලොක්ස් සහ මෘදු ක්‍රීඩා භාණ්ඩ දරුවාගේ චාලක හැකියාවන් මෙන්ම අත-ඇස සම්බන්ධතාව ද වර්ධනය කරයි.
වඩා වැදගත්ම දෙය නම් දරුවාට සෙල්ලම් කිරීම සඳහා වැඩි අවස්ථාවක් සලසා දීමයි. විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට දවසකට පැය 1-3ක් අතර කාලයක් විධිමත් හෝ අවිධිමත් ක්‍රියාකාරකමක නියැලීම හෝ නිදහසේ සෙල්ලම් කිරීමට ඉඩ හැරීම වඩාත් යෝග්‍ය වේ. එක විට මේ සියල්ල සිදු කිරීම අවශ්‍ය නොවුනත් දවස පුරාම විවිධ වේලාවන්වලදී කෙටි ක්‍රියාකාරකම් ලෙස මෙවැනි දෑ සඳහා දරුවා යොමු කිරීම පහසුවෙන්ම කළ හැකිය. පැය 1-3 යනු දරුවන් ක්‍රියාකාරකම්වල යෙදවිය යුතු අවම කාලය බව මතක තබා ගන්න. ඇතැම් සෙල්ලම් බඩු භාවිතා කරන ආකාරය අනුව විධිමත් සහ අවිධිමත් යන දෙයාකාරයෙන්ම යොදාගත හැකිය.
විධිමත් ක්‍රියාකාරකම් - දරුවා කරන්නේ කුමන සෙල්ලමක් ද කුමන සෙල්ලම් බඩුවකින් ද යන්න ඔබ හෝ වෙනත් වැඩිහිටියෙකු විසින් තීරණය කිරීම.
ප්‍රයෝජන - මෙහිදී දරුවාට ඔබේ සහාය ලබාගත හැකි අතර ඔහුට කැමති දෙයක් කළ නොහැකිය. ඔබේ උදාහරණ අනුව ඔහු ඉගෙන ගනියි.
උදාහරණ - ‘ක්‍රියාකාරකම්’ සහිතව ගීතයක් ගායනා කිරීම, පිටපත් කිරීමේ ක්‍රීඩා, ප්‍රෙහේලිකා, සංගීත පන්ති වැනි සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් හෝ වර්ධනයේ ස්වභාවය අනුව පාපන්දු, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා කණ්ඩායම් සඳහා වුවද දරුවා යොමු කිරීමේ හැකියාවක් ඇත.
නිදහසේ සෙල්ලම් කිරීම - අවිධිමත් ක්‍රියාකාරකම්වලදී දරුවා විසින්ම සෙල්ලමේ ස්වභාවය තීරණය කරනු ලබන නමුත් ඔබට සෙල්ලම් බඩු තෝරා දිය හැකිය. ඔහුටම ආවේණික සෙල්ලමක් ඔහු නිර්මාණය කරගනු ඇත.
ප්‍රයෝජන - දරුවාට ගවේෂණයට, පරිකල්පනයට සහ නිර්මාණශීලීත්වයට ඉඩ සලසයි.
උදාහරණ - යමක් අනුකරණය කිරීම, ඇඳුම් ඇඳීම, වතුර හෝ වැලි සමඟ සෙල්ලම් කිරීම, ක්‍රීඩා පිටියක සෙල්ලම් කිරීම (ලිස්සන සෙල්ලම, ඔංචිලි පැදීම, බිංගෙවල්, උසකට නැඟීම ආදිය)
දෙවන අවුරුද්දේ මුලින්ම කළ යුතු දේ
පළමු මාස 12 තුළ ළදරුවාගේ උපත් බර තුන්ගුණයකින් වැඩි වීම සිදුවේ. ඊළඟ අවුරුද්දේ කායික වර්ධනය මන්දගාමී වීමට පටන් ගනියි. පළමු සහ දෙවන උපන්දින අතර කාල සීමාව තුළ දරුවෙකුගේ බර වැඩි වන්නේ 1.5-2.5kg (3-5lbs) ප්‍රමාණයකින් පමණකි. ශාරීරික වර්ධනය මෙලෙස මන්දගාමී වුවද, ඇවිදීම සහ කතා කිරීම වැනි අලුත් කුසලතා සමඟ ළදරු මනස ඉතා කාර්යබහුල වීමට පටන් ගනියි.
පළමු පියවර - ඔබේ ළදරුවා තවමත් ඇවිදින්නේ නැති වුවද ඔහු ඉතා ඉක්මනින් එය ආරම්භ කරනු ඇත. ඔහු තබන පළමු පියවර කිහිපය තරමක් අස්ථාවර වුවද ක්‍රමයෙන් වැඩෙත්ම ඔහු සතු ආත්ම විශ්වාසය ද වැඩි වනු ඇත.
ඔහුට උපාකාරී වන්න - දරුවාට ඇවිදීමට හැකි වූ පසු හැකිතාක් දරුවා සමඟ ඇවිදින්න. ඔබේ වේගය තරමට නොවුනත් දෙදෙනාටම මෙය හොඳ ව්‍යායාමයක් වනු ඇත. දරුවා දෙපයින් නැඟී සිටින කාල වකවානුව නිසා ඔහු සමඟ හැකිතාක් ශාරීරිකව ක්‍රියාකාරී වන ක්‍රියාකාරකම්, ක්‍රීඩාවන් ආදියෙහි යෙදීම වැදගත් වේ.
පළමු “සංවාදය” - දරුවා ඔබේ කතාවට පෙරළා ප්‍රතිචාර නොදක්වන්නේ වුවද, ඔබ කියනා දෙය ඔහුට හොඳින් වටහා ගත හැකිය. ඔහු වචන උච්චාරණය කිරීමට පෙර පවා ඔබ කතා කරන වචනවල තේරුම ඔහු අවබෝධ කරගනියි. ඔබේ උපදෙස් පිළිපැදීම වෙනත් කාරණයකි! පළමු අවුරුද්දේදී ළදරු කතාබහ තුළ ඇසෙන හඬට ඔහු ප්‍රිය කළද දැන් එතැනින් පියවරක් ඉදිරියට යාමට කාලය පැමිණ ඇත.
ඔහුට උපකාර කරන්න - සරල වචන භාවිතා කරන්න, සෙමින් කතා කරන්න. එකම වාක්‍ය ඛණ්ඩ නැවත නැවත කියන්න. ඔහු ඔබෙන් සහ අනෙකුත් භාරකරුවන් වෙතින් භාෂා කුසලතා ඉගෙන ගනිමින් සිටින නිසා නිතරම කතා කරන්න. බඩගිනි බව දැන්වීම හෝ බඩ පිරී ඇති බව ඔබට දැනුම් දීම සඳහා “තව” සහ “ඇති” වැනි වචන කෑම කවන අවස්ථාවන්හිදී නැවත නැවත කියන්න.
මේ ඉන්නේ “බාල වියේ මම” බව සිතන්න - ඔබ කරන කියන සියලු දේ ඔබේ ළදරුවාගේ ආදර්ශය බවට පත්වන බව සිහියේ තබා ගන්න.
ඔහුට උපකාර කරන්න - නටන්න හෝ එහා මෙහා යන්න, ඔහු ඔබව අනුකරණය කරන අයුරු බලන්න. “පහක්” දැමීමට ඔහුට ඔබේ අත්ල පාන්න. ඔහු ද ක්‍රියාශීලීව එයට අනුගත වන අයුරු ඔබට නිරීක්ෂණය වනු ඇත. එකම වචනය නැවත නැවත කියන විට දරුවා ද එය කීමට උත්සාහ ගනු ඇත. මෙය දරුවන්ටත් දෙමාපියන්ටත් විනෝදමත් අත්දැකීමකි. දරුවාට උච්චාරණය කළ නොහැකි වූ වචන හෝ ඉටුකළ නොහැකි වූ ක්‍රියාකාරකම් පිළිබඳ විමසිලිමත් වන්න.
මෙම සන්ධිස්ථාන කරා තවමත් ඔබේ දරුවා ළඟා වී නැත්නම් ඒ පිළිබඳ කණගාටු නොවන්න. සෑම දරුවෙකුම සුවිශේෂී වන අතර ඔවුන් වැඩෙන්නේ ඔවුන්ටම ආවේණික වූ ක්‍රමයකටයි. යම් ගැටලුවක් ඇති බව හැඟී ගිය හොත් ඔබේ සෞඛ්‍ය සේවා නියෝජිතයා වෙත යොමු වන්න.
මූලාශ්‍ර
▪ Ertem IO, Krishnamurthy V, Mulaudzi MC, et al. Similarities and differences in child development from birth to age 3 years by sex and across four countries: a cross-sectional, observational study. Lancet Glob Health 2018; 6(3):e279-91.
▪ Okely AD, Ghersi D, Hesketh KD, et al. A collaborative approach to adopting/adapting guidelines – The Australian 24hour movement guidelines for the early years (birth to 5 years): an integration of physical activity, sedentary behavior, and sleep. BMC Public Health 2017; 17(Supple 5):869. doi: 10.1186/s12889-017-4867-6.
▪ Shelov SP & Altmann TR (Eds.). (2009). American Academy of Pediatrics. The complete and authoritative guide Caring for your baby and young child birth to age 5 (5th ed.). USA: Bantam Books.
▪ Society of Health and Physical Educators (SHAPE). Active start: A statement of physical activity guidelines for children from birth to age 5. 2nd ed. Reston, VA: SHAPE America; 2009. Available at: https://www.shapeamerica.org/standards/guidelines/activestart.aspx (Accessed August 8 2018)
▪ Tremblay MS, Chaput J, Adamo KB, et al. Canadian 24-hour Movement Guidelines for the Early Years (0-4 years): An integration of physical activity, sedentary behaviour, and sleep. BMC Public Health 2017; 17(Suppl 5):874 doi 10.1186/s12889-017-4859-6. https://pathways.org/growth-development/toddler/milestones/ (Accessed August 8 2018) https://pathways.org/topics-of-development/play/ (Accessed August 8 2018) https://pathways.org/watch/parents-guide-structured-vs-unstructured-play/ (Accessed August 8 2018)
බෙදාගන්න
Recommended Articles
Romesh Jayasinghe
මුල් ළමාවිය සංවර්ධනය හා බැඳි මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධ කර ගනිමු
මනෝ විද්‍යාව යනු මිනිස් හැසිරීම් පිළිබදව අධ්‍යනය වන අතර ළමා මනෝ විද්‍යාව යනු ළදරුවන්ගේ හා දරුවන්ගේ සංවර්ධනය හා හැසිරීම යන දෙකම අධ්‍යනය කරන මනෝ විද්‍යාවේ ව්යවහා...
Read Moreළදරුවන්ගේ නින්ද ගැන දැනගමු
“දරුවා නිදි කරවන්නෙ කොහොමද?” මෙය ඕනෑම දෙමාපියකු මුහුණ දෙන ප්රශ්නයකි. ලොව පුරා දෙමාපියන් මේ සඳහා අනුගමනය කරන පිළිවෙත් පිළිබඳ මේ ලිපියෙන් මඳක් සොයා බලමු. ...
Read Moreඉලෙක්ට්‍රොනික උපාංග වැඩිපුර භාවිතය ළදරුවන්ගේ අධිබර තත්ත්වයට හේතුවක්ද?
ඔබ දන්නවාද? කුඩා දරුවන් එළිමහනේ ක්‍රීඩාවන්ට යොමු නොවී රූපවාහිනී, ජංගම දුරකතන වැනි ඉලෙක්ට්‍රොනික උපාංග සමඟ වැඩිපුර කාලය ගත කිරීම ඉදිරි කාලීන සෞඛ්‍ය අවදානමකට අත ව...
Read More